ජබර නම ඇහුවම හබරල ගාලක් මතක් වෙයි! ඒත් මේක කාඩ් ගේම් එකක්. මමත් මේ ඇඟේ අමාරැවට යාලුවො කට්ටියක් එක්ක හන්තානෙ බඩගාන්න ගිහින් තමයි දැනගත්තෙ. (නැග්ග කියන්න බැරි නිසයි බඩ ගෑව කිව්වෙ) අධයාපනය වෙනුවෙන් ආචාර්යවරැන් ගෙනියන අරගලය නිසා කැම්පස් ටික හාවක් හූවක් නැතුව වහල දාල තියෙන වෙලාවෙ අපිත් යන්තං පැනගත්තෙ.
මේක බොහොම නම ගිය අයිටම් එකක් ඒත් දන්නෙ නැති හැමෝටම දැනගන්න මම ඉතින් පුලුවන් විදියට විස්තර කරන්නම්!
අපට හන්තානෙ බඩගාන්න දිවිහිමියෙන් උදව් කලේ පේරාදෙණියෙ ඉංජිනේරැ පීඨෙ සිරා මල්ලිල ඩබලක් ජෙනින්ස් හොස්ටල් එකේ කාමරේක මහ රැ ජබොස් ගහමු කියල මුලින්ම කිව්වෙ කුරැවිට පැත්තෙ සාඩම්බර තේ වතු හිමියෙක්. කොහොම හරි දන්න අයයි නැති අයයි ඔක්කොම සෙට් වෙලා වැඩේ පටන් අරන් අන්තිමට ඉවර කලේ පාන්දර 3ට විතර. වැඩේ ඒ තරමට නැගල ගියා!!!
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ! කැමති ගානකට සෙට් වෙන්න පුලුවන්. (ඒ උනාට එක පැක් එකක කොල 52 හැමොටම බෙදුවාම එක්කෙනෙක්ට කොල 5 ක් 10 ක් වත් නැත්තම් වැඩක් නෑනෙ) කොහොමහරි සෙට් වෙන ගානක් සෙට් වෙලා කවුරැහරි පින්වතෙක් ඉතින් හා හා පුරා කියල කොල ටික අනල කරල ගන්නකෝ. ඊට පස්සෙ ඉන්න ගානට එක්කෙනාට එක කොලේ ගානෙ දකුණු පැත්තට රවුමට කොල ටික ඉවර වෙනකන් බෙදාගෙන යන්න. දැන් හැමෝම අතේ කොල තියෙනවාන. හරි දැන් තියෙන්නෙ ගේමට වැඩේ පට්ටාන් ගන්න!!!
මේකෙ කරන්න තියෙන්නෙ මුලින්ම තමන්ගෙ අතේ තියෙන කොල ටික ඉවර කරගන්න එක! ලොකුම කොලේ 2 (ජාති භේද ආගම් භේද තුරැම්පු මුකුත් ලොකුම කොලේට නෑ හොඳේ හැම එකක්ම 2ට යටයි!). එතකොට ආසියට මොකද උනේ?? අනේ මන්ද එහෙම තමයි! අනිත් හැම ගේමෙම ගානකටවත් ගන්නැති 2ටයි මෙතන තැන! 3 තමයි අඩුම කොලේ!
හරි දැන් පළවෙනි රවුමෙදි මුලින්ම කොලේ ලැබුන කෙනාට තමයි පිටියට කොලයක් දැමීමේ මහඟු අවස්තාව. එයාට ඕනම කොලයක් දාන්න පුලුවන්. එක පාරට එක කොලයක් විතරක් නෙවෙයි සෙට් හදල දාන්නත් පුලුවන්. ඒ කිව්වෙ තමන් ගාව එකම ජාතියෙ (එකම වන්සෙන් නෙවෙයි) කොල තියෙනවනම් ( උදා - රැවිත 7 හාරත 7 කලාබර 7 , ස්කෝප්ප බූරැව හාරත බූරැව .....වගේ සෙට්) ඒ ඔක්කොම එකපාර දාන්න පුලුවන්. තව එකම වන්සෙ එක ළඟ කොල සෙට් තියෙනවනම් (උදා - හාරත 5 හාරත 6 හාරත 7 , ස්කෝප්ප බූරැව ස්කෝප්ප පොරව .... වගේ සෙට්) ඒ ඔක්කොමත් දාල තමන් ගාව තියෙන කාල ඉක්මනට ඉවර කරගන්න පුලුවන්.
හරි දැන් පළවෙනිය දැම්මාම එයාට පස්සෙ ඊළඟට ඉන්න කෙනාට චාන්ස් එක. එයාට තියෙන්නෙ කලින් කෙනා දාපු පිටියෙ උඩින්ම තියෙන කොලේට හරි කොල සෙට් එකට හරි අගයෙන් වැඩි කොල තමන් ගාව තියෙනවනම් ඒව දාල තමන්ගෙ කොල අඩු කරගන්න. ඒත් ඉතින් කලින් කෙනා දැම්මෙ එක කොලයයි නම් දැනුත් දාන්න වෙන්නෙ එක කොලයයි. කලින් කෙනා කොල සෙට් එකක් දාල නම් අපටත් කොල සෙට් එකක්ම දාන්නත් වෙනව. ඒත් ඊට වඩා අගයෙන් වැඩි ඒ දාපු විදියටම. ඒ කිව්වෙ කලින් කෙනා දාල තියෙන්නෙ එකම ජාතියෙ කොල X ප්රමානයක් නම් අපටත් ඕන වන්සෙක එකම ජාතියකින් ඊට වඩා අගයෙන් වැඩි කොල X ප්රමානයක්ම දාන්න වෙනව. බැරි වෙලාවත් කලින් කෙනා එකම වන්සෙ එක ළඟ කොල කොල X ප්රමානයක් දාලනම් අපටත් කැමති වන්සෙක එක ළඟ කොල කොල X ප්රමානයක්ම දාන්න වෙනව. හැබැයි කැමතිනම් අත පාස් කරන්නත් පුල්වන්. හැබැයි ඉතින් තනි කොලේට 2 කොලයක් හරි කොල සෙට් එකට 2කොල සෙට් එකක් හරි දාන්නත් පුලුවන්.
මේ විදියට රවුමට යන්නයි තියෙන්නෙ. මෙහෙම රවුමට යද්දි අන්තිමට දාපු කොලේට වඩා වැඩි කොලයක් කවුරැත් දාන්න කැමති නැත්තම් එතනින් ඒ රවම ඉවරයි. දැන් අලුත් රවුමෙ මුලින්ම කොලේ දාන්න චාන්ස් එක අර කලින් රවුමෙ වැඩිම කොලේ දාපු වාසනාවන්තයට. දැන් තින් එයාට තමන් ලඟ තියෙන අඩු කොල එහෙම වට්ටන්න පුලුවන්. කලින් අතේ 2 කොල එහෙම වැටුනනම් ඉතින් කතා 2ක් නෑනෙ මොකද ඊට වඩා වැඩි කොල නැතිනිසා.
මේ විදියට දිගටම රවුම යද්දි මුලින්ම එක්කෙනෙක් කොල ටික හලා ගන්නව ඊළඟට දෙවෙනිය අන්තිමට අන්තිමයෙක් ඉතුරැ වෙනව. දැන් තෑගි දෙන්නයි තියෙන්නෙ. තෑගි මෙන්න මේව!!!
මුලින්ම අන්තිමයට දෙමු! අන්තිමය තමයි ඊළඟ අතට අනන්නෙ තව පළවෙනියට තෑගිදෙන්නෙත් අන්තිමය. දෙවනියට හම්බෙන තෑග්ග තමයි එයා තමයි ඊළඟ අතේ මුලින්ම කොල හලන්න පටන් ගන්නෙ. දැන් බලමු පළවෙනියට මොකද වෙන්නෙ කියල? පළවෙනියට පුලුවන් තමන්ට ඊළඟට ලැබෙන කාඩ් අතේ තමන් කැමති කොලයක් අන්තිමයට දෙන්න. ගොඩක් වෙලාවට ඕක ඉතින් හලාගන්න අමාරැ පොඩි කොලයක් තමයි ඉතින්! ඒ වෙනුවට අන්තිමයට සිද්ද වෙනව තමන් අතේ තියෙන කාඩ් වලින් හොඳම කොලේ දෙන්න.
කොහොමද හොඳයි නේද වැඩේ??
කරල බලන්නකෝ!! මේක කියවල ඉවරවෙලා මාව පොඩ්ඩක් මුරැන්ග අත්තෙ තියන්න ගුණ දොස් විචාරල යන්නත් අමතක කරන්න එපා. මොකද මේ මගේ පළවෙනි බ්ලොග් එක!!! තව මොන මොනව ලියාවිද දන්නෙ නැති නිසා කුණමල්ල කියල නම දැම්මෙ! බ්ලොග් එක හදද්දි නමක් ඉල්ලනකොට ලියන්නෙ මොනවද කියල හිතල තිබුනෙ නෑ. වැඩේ ඉවර වෙලා ලියන්නෙ මොනවද කියල හිතද්දි තමයි මේක මතක් උනේ! තව මීට වඩා වැදගත් දේවල් ලියන්නත් හිතෙනව දැන් නම්.
දැනට මේ ඇති ඊළඟට කුණුමල්ලට වැටෙන්නෙ මොනවද කියල පස්සෙ බලමු!

සෙල්ලම දැනගෙන හිටියට නම දැනගත්තෙ දැන්...
ReplyDeleteසුභ පැතුම්!
(Comment කරනකොට word verification එකක් එනවා. ඒක අයින් කරන්න)
මා හට ලැබුන පළමු reply එක!!! මගේ හොඳම මිතුරෙක්ගෙන්!!
Deleteword verification වැඩේ මම බලන්නමි! ස්තුතියි!